ටෙපන්යකි: රස නහර පුබුදුවන සජීවී අත්දැකීම
February 2018

උණු උණුවේ රස බැලීමට සූදානම් කළ එළවළු, මස්, බත් සහ සුප්

සවන්පත් සනහාලමින් නැගී ආවේ සියුම් සංගීත රාවයකි. සකුරා මල් පිපෙන සුන්දර ජපන් දේශයේ පිහිටි අවන්හලක සිරි අසිරි ගෙනා අවන්හලේ එක් ඉමකවූ විශේෂිත මේසය අසල අපි අසුන්ගත්තෙමු. එම මේසයේ අනෙක් පස වූයේ ආහාර පිළියෙල කරන උදුනක් මෙන්වූ කොටසයි. වානේ තහඩුවකින් කළ මේස මතුපිටක් වන්වූ එම උදුන රත් කළ සූපවේදියා, අපට අවැසි ආහාර පිළියෙල කිරීමට සූදානම් විය. ටෙපන්යකි නම්වූ ජපානයටම ආවේණික වන ආහාර සැකසුම් කලාවේ වන විශේෂත්වය වන්නේ එයයි.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: මහේෂ් බණ්ඩාර සහ ගීත් විදුරංග


ජපන් බසින් "ටෙපන්" යනු ලෝහ තහඩුව යන්නයි. "යකි" යනු පිළියෙල කරන අන්දම (ග්‍රිල්, පෑන් ෆ්‍රයිඩ්) යන්නයි. ඒ අනුව ටෙපන්යකි යනු ලෝහමය මතුපිටක් මත පිළියෙල කරනු ලබන ආහාර යන්නයි.


සිය අතෙහි වූ ගම්මිරිස් කුඩු බඳුන රිද්මයානුකූලව කරකවා අප වෙත විනෝදාත්මක අත්දැකීමක් ගෙන ආ සූපවේදියා අපේ ඇණවුමට අනුව ආහාර පිළියෙල කිරීම ආරම්භ කළේය. මෙනුපතේ සඳහන් සෙට් මෙනූ අතරින් අපගේ රුචිකත්වය අනුව තෝරා ගැනීමට සෙට් මෙනූ කිහිපයක් විය. එමෙන්ම සෙට් මෙනු එකක් ඇණවුම් කිරීමට අකමැති අයෙක් නම් මෙනු පතෙහි සඳහන් ආහාර වර්ග වෙන වෙනම තෝරා ඇණවුම් කිරීමටද පුළුවන. අප තෝරා ගත් සෙට් මෙනු එකෙන් ඔහු ප්‍රථමයෙන්ම සූදානම් කරනු ලැබුවේ එළවළු සහිත ආහාරයයි. ටෙපන්යකි සතු සුවිශේෂීත්වය වන්නේ ඇණවුම් කරනු ලබන ආහාරය අප ඉදිරියේදී සජීවීවම පිළියෙල කිරීමයි.


අපගේ සුහද කතාවට නිමාවක් තබමින් අප ඉදිරියේ වූයේ නාස් අග මිහිරි සුවඳක් රැඳවූ දුම් දමනා ග්‍රිල් කළ එළවළුය. ජපන් බසින් "හිෂි" ලෙසින් හැඳින්වෙන චොප්ස්ටික් ආධාරයෙන් එහි රසය බැලීමට අපි සූදානම් වුනෙමු. ලුණු සහ ගම්මිරිස් පදම සමඟින් බටර් සහ සෝයා සෝස් රසයෙන් රසවත් වුණු එහිවූ නැවුම් රස අපගේ රස නහරයන් පිනවද්දී ඔහු සූදානම් වූයේ ඊළග පියවර ඇරඹීමටය. එනම් මස් ආහාර වර්ගය සැකසීමටය. එහිදී රුචිකත්වය අනුව මස් වර්ගයක් හෝ ඉස්සන් වැනි මත්ස්‍ය වර්ගයක් වුවද තෝරාගැනීමට පුළුවන. නිර්මාංශී අයෙක් නම් "ටෝෆු" වැනි ආහාර වර්ගයක් තෝරාගැනීමට හැකිය.


සාම්ප්‍රදායික ජපන් ටෙපන්යකි ආහාර සැකසීමේදී නම් බොහෝවිට මාංශ වර්ගය ලෙසින් භාවිත කරනුයේ "වගියු" ලෙසින් හඳුන්වන හරක් මස්ය. එළවළු සැකසූ අයුරින්ම, රත්වූ ග්‍රිල් එක මත තෙල් ආලේප කළ ඔහු ඉන් අනතුරුව නැවුම් හරක් මස් පෙත්තක් ඇතිරුවේය. එක් පැත්තක් හොඳින් පදම් වනවිට ලුණු සහ ගම්මිරිස් කුඩු ඉස අනෙක් පැත්තට හැරවූයේ එම පැත්තද හොඳින් උණුසුමේ පදම්වීම සඳහාය. ආහාරයේ රසය විඳිමින් එම ක්‍රියාවලියද නරඹමින් සිටි අප දුටු තවත් සොඳුරු දසුනක් වූයේ ග්‍රිල් කරමින් පැවති මස් පෙත්තට තෙල් ස්වල්පයක් එක් කිරීමත් සමඟ නැගුණු ගිනිදැල්ය. පදමට ග්‍රිල්වූ පසු තරමක කැබලිවලට කපා ගත් මස් පෙත්ත උණු උණුවේම ආහාර බඳුන්වල අතුරා අපට පිළිගන්වනු ලැබූවේ සුදුලූනු සහ සෝයා සෝස්වලින් සකසා ගත් සෝස්, කුළු බඩු රසයෙන් යුත් සෝස් මෙන්ම චිලී සහ මිසෝ සෝස් සමඟිනි. ඒ අතර අප වෙත ගෙන ආ උණුසුම් ග්‍රීන් ටී කෝප්පයද මෙම ආහාරයේ රස තව තවත් වැඩි කරවන්නට සමත් විය.

ටෙපන්යකිහි නිජබිම ජපානය වුවත් අද වනවිට එය ලොව පුරා ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇත.


ඊළඟට ඔහු සූදානම් වූයේ ගාර්ලික් රයිස් යනුවෙන් හැඳින්වෙන බත් සැකසීම සඳහායි. සිහින්වට කපා ගත් සුදුලූනු කැබලි ග්‍රිල් එකට එක්කරනු ලැබුවේ ආහාර රුචිය වඩවන සුවඳක්ද ගෙන එමිනි. රන්වන් පැහැයට බැඳී ආ එයට සාමාන්‍ය ආකාරයෙන් පිසගත් බත් කෝප්පයක් එක්කර හොඳින් කළවම් කරනු ලැබු ඔහු ඉන් අනතුරුව එයට රස පදමට ලුණු, ගම්මිරිස් සහ බටර් සමඟින් සිහින්ව කපාගත් ලූනු ගස්ද එක් කරනු ලැබීය. නිසි පදමට පිසෙනවිට එම ග්‍රිල් එක මත හදවතක හැඩයට ගාර්ලික් රයිස් ඇතිරුවේ අප සැමගේම මුවගට මන්දස්මිතයක් ගෙන එමිනි. සෙමින් සෙමින් මෙම මිහිරි ආහාර වේලෙහි රසය විඳිමින් සිටි අතර හෝරා එකහමාරකට ආසන්න කාලයක් ගෙවී ගියා දැනුනේ නැත. මෙම ආහාර සැකසීමේ කලාවේ වන සුවිශේෂීත්වය වන්නේ ආහාර පිළියෙල කිරීමට හෝ ආහාර ගැනීමට කිසිවෙකුව ඉක්මන් නොකිරීමයි. තමන්ට රිසි සේ කාලය ගෙන එහි රසය විඳිය හැකි අතර අපගේ අවශ්‍යතාවය අනුව ආහාර සැකසීමට සූපවේදිවරයාද සූදානමෙන් සිටියි. පිළිවෙළින් එළවළු, මස් සහ බත් පිළිගැන්වීමෙන් අනතුරුව පිළිගන්වනු ලබන්නේ උණුසුම් සුප් කෝප්පයයි. එමගින් පෙර ලබාගත් ආහාර නිසි ලෙසින් ජීරණය වීමට පහසුවෙයි. ඉන් අනතුරුව තම තමන්ගේ රුචිකත්වයට අනුව සාම්ප්‍රදායික ජපන් අතුරුපස හෝ වෙනත් අතුරුපස වර්ගයක් තෝරා ගැනීමට හැකියාව පවතී.


ටෙපන්යකිහි නිජබිම ජපානය වුවත් අද වනවිට එය ලොව පුරා ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇත. පිළියෙල කිරීමේදී මෙන්ම ඒ සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍යයන්ගේ සුළු සුළු වෙනස්කම් තිබුණද ලොව කොතැනක වුවත් ටෙපන්යකි ආහාර සකසනු ලබන්නේ එකම ආකාරයකටය. එය කෙතරම් සත්‍යයක්දැයි පසක් වූයේ මීට පෙර මා බැංකොක් හිදි රසවිඳි ටෙපන්යකි ආහාර වේලක් සිහිපත්වුණු බැවිනි.


පෙර දැනුම්දීමකින් ආසන වෙන්කර ගෙන හෝ ඔබට පහසු දිනක ගොස් ටෙපන්යකි ආහාර වේලක රස බැලිය හැකිය. එය දහවල් ආහාරයක් ලෙසින් මෙන්ම සවස් යාමයක නිවාඩු පාඩුවේ රස විඳීමටද කදිමට ගැළපෙන ආහාර වේලක්ද වෙයි. ඕනෑම අහාරයක තිබිය යුතු මූලික ගුණාංගයන් වන්නේ පළමුව එය නෙත පිනවීමයි. දෙවනුව නාසය පිනවීමයි. තෙවනුව දිව පිනවීමයි. මේ ගුණාංග තුනම මනාව සමන්විත වන ටෙපන්යකි සතු වන විශේෂත්වය වන්නේ එය සියලු පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරුණු ආහාර එකතුවක් වන බැවිණි.


ඔබත් වෙනස් සංස්කෘතියක, වෙනස් ආහාරක රසය විඳීමට කැමති අයෙක් නම් මෙම සුන්දර ආහාර අත්දැකීම ඊට මනාව ගැළපෙයි.


මෙම ලිපිය සැකසෙන්නේ කොළඹ හිල්ටන් හෝටලයේ ඉකොයි තෙයි අවන්හලේ පැවැත්වෙන ටෙපන්යකි ආහාර පිළියෙල කිරීම සහ එම අවන්හලේ ජපන් ආහාර පිළිබඳ සූපවේදී හිකරු තකහෂි මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි.


Teppanyaki is a type of Japanese cuisine. The words teppan (iron plate) and yaki (grilled, broiled or pan-fried) have been combined to name this method of cooking. The main ingredient can be Wagyu beef, seafood or tofu steak. Soya bean sauce and dashes of salt and pepper are used in its preparation. The meal is typically accompanied by vegetables, salad, rice, miso soup and dessert. It is often enjoyed by people sitting around a Teppanyaki griddle and consuming food and drink while leisurely engaging in conversation as the food is being prepared in front of them. Despite its Japanese origin, Teppanyaki's popularity has now spread throughout the world. Information was gathered from a discussion with Chef Hikaru Takahashi at Ikoi Tei by Hilton Colombo.

  • image01
  • image01
    image01

    ටෙපන්යකි ග්‍රිල් එක සහිත මේසය

    Prev Next
  • image01
    image01

    පිළිවෙළින් එළවළු සහ මස් පිළියෙල කරමින්

    Prev Next
  • image01
    image01

    පිළිවෙළින් එළවළු සහ මස් පිළියෙල කරමින්

    Prev Next
  • image01
    image01

    හදවතක හැඩයට ඇතිරූ ගාර්ලික් රයිස්

    Prev Next