
ස්වභාව දහමෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් නිර්මාණය වූ සරල නිවෙසක්
පිරිසිදු නිල් අහස යට, හරිත තුරු ලතාවන්ට මායිම්ව, ගලා යන ගංගාවක් අසබඩ පිහිටා නැතත් ඔබේ නිවසේදී ඒ සෑම හැගීමක්ම අත්විඳින්න. ජීවිතයේ ගිම් නිවන කුටිය නිවෙස කරගන්න...
සටහන: දිල්ෂි තත්සරණී අබේරාජ ඡායාරූප: මාලක වැලිගොඩපොළ, ඩිල්ෂාන් වීරරත්න
ඝර්ම කලාපීය රටක් වන නිසාම හිරු ගමන් කරන්නේ ශ්‍රී ලංකාවේ අපට ගොඩක් ආසන්නවයි. මේ දිනවල වායුගෝලයේ පවතින දැඩි රස්නය ඔබත් අත්විඳිනවාට සැකයක් නැහැ. දහවලකට එළියට බහින්න බැරි තරමට අව් රැල්ල අපිට පීඩා කරන්නට දැන් දැන් සමත් වී ඇත. ලොව සිදු වන කාලගුණික විපර්යාසයන් සමග මෙවන් තත්ත්වයක් එක් අතකට පුදුමත් නැහැ. ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටියේ අද ඊයේ පටන් නොවේ වුවත් මෙවන් උණුසුමක් අපට දැනෙන්නට පටන් ගත්තේ නම් මෑත අතීතයේ සිටයි. සොබා දහම දේවත්වයෙන් ඇදහූ එදා සහ සම්පූර්ණයෙන්ම මෙන් අමතක කර ඇති මෙදා අතර ඇති වෙනස ලොව පුරා සිදු වන කාලගුණික විපර්යාසයන්ට හේතු වන බව අවිචාරාත්මකය.
කාලයක් තිස්සේ පවැත එන ශීඝ්‍ර කාර්මීකරණයත් සමග ශ්‍රී ලාංකිකයින්ටද තමන්ට උරුම වී ඇති දේශගුණික ආශිර්වාදය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමේ අභියෝගයට මුහුණ දීමට සිදු වී ඇත. එයට ඇති සරලම විසදුම වන්නේ හැකි තාක් ගස් වැවීම බව නිරන්තරයෙන් මතක් කෙරුණද, ඉහළ යන ජනගහණය සහ හීන වන බිම් ප්‍රමාණය හා බලන කල එසේ ගස් වැවීමද මේ වන විට මහත් ගැටලූවක් බවට පත්ව ඇත. ඉඳින් මේ උදා වී ඇත්තේ ස්වභාව දහම හා හැකිතාක් ළංව කටයුතු කළ යුතු කාලයක් වේ. මුල් තැන දුන් අනේකවිදි දේවල් අතෙර් මුල් තැන ස්වභාව දහමට ලැබිය යුතුය. එහි පළමු පියවර ඔබගේ සිහින නිවෙසින් අරඹන්න...
නිවෙස සිසිල් අරණක් වන්නට
නිවෙසක් ඉදි කිරීමේදී මූලිකත්වය හිමි වන ප්‍රධාන කරුණු කිහිපයකි. ඒ සියල්ල අතරින් අපගේ දේශගුණික ලක්ෂණයන්ටද මුල් තැනක් හිමි වේ නම් ඔබගේ නිවෙස කල් පවතින මෙන්ම වාසයට වඩාත්ම සුදුසු ආකාරයෙන් නිම වෙනවාට සැකයක් නැත. ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටකි. එසේ නම් ඔබේ නිවෙස ඉදි විය යුත්තේ හැකි තාක් සිසිලසක් නිවැසියන්ට දැනෙන ආකාරයෙන් වේ. මෙහිදීද නිවෙස ඉදි කෙරෙනා වටපිටාව සැලකිල්ලට ගත යුතුය. ප්‍රධාන වශයෙන් වාස්තු විද්‍යාවෙහි මෙවන් වටපිටාවන් ආකාර තුනකි. එනම්, ග්‍රාමීය, නාගරික සහ අර්ධ නාගරික ආදී වශයෙන්ය. ග්‍රාමීය පරිසරය තුළ දේශගුණයට සංවේදී නිවෙසක් ඉදිථ කිරීම සැබැවින්ම පහසු කටයුත්තක් වන්නේ තවමත් ස්වභාවික සම්පත් එහි ශේෂව පවතින නිසාය. නමුත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි ඔබේ නිවෙස ඉදි වේ නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.
හිරු කිරණට සීමාවන් බඳින්න
හිරු කිරණ ලොවට ජීවය දෙන බව සැබෑය. එසේ වුවද දැඩි හිරු කිරණ පීඩාකාරී නොවන්නේද නොවේය. අවහිරයකින් තොරව ස්වභාව දහමේ තිළිණයන් භුක්ති විඳීමේ කලාව අප දැන ගත යුතුය. උණුසුම් හිරු කිරෙණ් ඇති ගත විඩාපත් කරවන දැඩි උණුසුම වළක්වමින් එහි ඇති ජීව ගුණයන් නිවෙසට ළගා කර ගැන්ම අපට භාරය. එයට පිළියම වන්නේ නිවෙස සෑදීමේදී හැකිතාක් සෘජු හිරු එළිය ආවරණය වන සේ සිය සැලැස්ම සකස් කර ගැන්මය. ජනේල වලට ආවරණයන් යෙදීම, නිවෙසේ ජනේල, ෙදාරවල් සහ අනෙකුත් විවෘත කිරීම් හිරු කිරණ වැටෙන දිශාව මග හැර යොදා ගැනීම ආදිය මගින් හැල්මේ දිව එන චණ්ඩ හිරු කිරෙණ් වල සැර මග හැර ගත හැකිය. නිවෙස සෙවණ කිරීමද මෙම සෘජු හිරු කිරණයන්ගෙන් මිඳීමට ඇති තවත් ආකාරයකි. නිවෙස පිටත මෙන්ම අභ්‍යන්තරයේද විවිධ ආකාරයේ ගස් කොළන් වලින් සෙවණ කිරීම ඔබට කළ හැකිය. මෙය ඉතා සරල යමක් සේ පෙනුණද මෙමගින් ඔබට දැනෙනා සිසිලස අතිමහත් වනු ඇත. මෙවන් දෑ හරහා ඔබගේ නිවෙසට අමතර ශීතලක් ලබා ගත හැකිය. විඩාබර උණුසුම් දිනක් අවසන නිවෙසට පැමිණෙන ඔබට එය විශාල සහනයක් වනු නොඅනුමානය.
හමන සුළග ගෙතුළට කැඳවන්න
අතොරක් නැතිව එහෙ මෙහෙ දුවන මඳ නළ මඳකට ඔබේ නවාතැනට ගෙන්වන්නට හැකි නම් එය කෙතරම් වටින්නේද? අවහිරයන්ගෙන් තොර විශාල ජනේල, මැද මිදුල්, විවිධාකාරයේ විවෘත අවකාශයන් ආදිය හරහා නිදහස් සුළගට ඔබේ නිවෙසේ නිදහසේ කරක් ගසන්නට අවසරය ලබා දෙන්න. මෙය වායුසමනය කිරීම හෝ විදුලි පංකා දල්වනවාට වඩා සිසිලස් මෙන්ම පිරිමැසුම්දායී ක්‍රමයක් බව අප අත්දැක ඇති සත්‍යයකි. මෙසේ වාතාශ්‍රය නිවෙසට ගෙන්වීම ඔබට ආකාර දෙකකට කළ හැකිය. එනම් සිරස් (Cross) හා තිරස් (Stack) වශයෙනි. මේ අයුරින් නිවෙස තුළ පිරිසිදු වායු සංවාතනයක් ඇති කිරීම හරහා වඩාත් ප්‍රසන්න ගෘහයක් නිර්මාණය වේ. අහසට විවිර කරන ලද මැද මිදුල් සහ විශාල ජනේල ආදිය සුළං රැළි නිවෙසට ආකර්ෂණය කර ගැන්මට උපකාරී වේ. නිවසේ මැද මිදුල හරහා ඇදී විත් මුලු නිවෙසම පිස හමා යන මඳ සුළග නිවසෙහි උෂ්ණත්වය පිට කරමින් නිතර නිතර නිවෙස සිසිල් කිරීමට සමත්ය. ඉඳින් නතර නොවී හමා යන මඳ නළ නිවෙසට කැදවාගෙන සරතැස නිවාගන්න ඔබටත් හැකිය.
තාපයට වැට කඩොලු
නිවෙසට උරා ගන්නා තාපය අවහිර කිරීම තුළින් ඔබගේ නිවෙස තුළ දැනෙනා රස්නය අවම කර ගැන්මට පුලුවන. මේ සඳහා විවිධ ආකාරයේ විධික්රමයන් වත්මන් වාස්තු විද්‍යාවේ භාවිත වේ. නිවෙසක තාපය උරා ගැන්ම අවම කිරීමට කළ හැකි වඩාත් ඵලදායී යමක් වන්නේ වහලයට සහ බිත්ති වලට නිවැරදි අමුද්‍රව්‍ය තෝරා ගැනීමය. මඳක් සිතා බලන්න එදා අපගේ මුතුන් මිත්තන් සිය නිවෙස් ඉදි කිරීමේදී භාවිතා කළ අමුද්‍රව්‍යයන් පිළිබඳව. ඔවුන් සියලූ දෙයක්ම පාහේ සොයා ගත්තේ සොබා දම ඇසුරෙනි. බිත්ති වලට මැටිත්, වහළයට පොල් අතු හෝ පිදුරුත් ඔවුන් භාවිත කළහ. බිත්ති වලට මැටි භාවිත කිරීම හරහා ඔවුහු දැන හෝ නොදැන නිවෙසට උරා ගන්නා තාපය සෑහෙන ප්‍රමාණයකින් සීමා කළහ. බිත්ති වල ඝණත්වය වැඩි වන තරමට එතුළින් නිවෙස තුළට ඇදී එන තාප ප්‍රමාණය අඩු වේ. ඒ සරල න්‍යාය අනුව යමින් ඔබටත් ඔබගේ නිවෙස වැඩි ඝණත්වයකින් යුත් බිත්ති වලින් නිමවා ගත හැකිය. ගඩොල් භාවිත කිරීමද නිවෙසට තාපය වැඩි වශයෙන් ඇතුලු වීම වැළැක්වීමට හේතු වේ. මෙසේ ගඩොල් භාවිතයෙන් නිමවෙන බිත්ති ශෛලිය රැට් ට්‍රැප් (Rat Trap) ලෙසින් හැඳින්වේ. එසේම මෙහිදී ඔබට භාවිතයට ගත හැකි විශේෂිත ක්‍රමයක් වන්නේ පරිවෘතකරණයයි. සරලව පවසන්නේ නම් පරිවෘතකරණයෙන් කෙරෙන්නේ ඔබගේ වහළයට විශේෂිත ආවරණයක් යෙදීමය. මේ සඳහා විශේෂිත අමුද්‍රව්‍යයන් වෙළෙඳ පොළෙන් ඔබට ලබා ගත හැකි අතර ග්ලාස් වූල් (Glass Whool) එවන් එක් වර්ගයකි. මෙවන් දේශගුණික සංවේදී විධික්රමයන් නිවෙස් ඉදි කිරීමට භාවිත කිරීම මගින් ඔබේ නිවෙසට සුන්දරත්වයට අමතරව විශාල වටිනාකමක් එක් කර ගන්නටද ඔබ සමත් වනු ඇත.
වාෂ්පීකරණ සිසිලනය නිවෙස තුළට
ගස් කොළන්, දිය දහරා ආදියෙන් යුත් සදාහරිත වන පියස් වල ඇති සිහිලැල් බව නිවෙසට එක් කර ගැන්මට ඔබත් කැමතිද? සොබා දහමේ ඇති ගත නිවා සනසාලන අද්විතීය ගුණය නිවසේදීම අත්විඳින්නට එවිට ඔබට හැකි වේවි. ගස් කොළන් වල ඇති එක් ආශ්චර්යයක් වන්නේ ඔවුන්ගේ වාෂ්පීකරණ ක්‍රියාවලියයි. එහිදී සිදු වන්නේ පරිසරයේ ඇති තාපය තමන් වෙතට උරා ගනිමින් සිහිලැල් වාතය පරිසරයට මුදා හැරීමය. මෙය ඉතාමත් ස්වභාවික වායුසමීකරණ ක්‍රියාවලියක් යැයි හැඳින්වීම සුදුසුය. එසේම නිවෙස තුළ සෑදිය හැකි ජලාශ්‍රිත නිර්මාණයන්ද මෙම ස්වභාවික සිසිලසට තවත් රුකුළක් වනු ඇත. කෘත්රීමත්වයට වඩා සෑම අතින්ම හිතකර මෙවන් උපක්රමයන් භාවිතයෙන් ඔබේ නිවෙස පසන් නිවෙසක් කර ගන්නට හැකි නම් ඔබ සැබැවින්ම බුද්ධිමත් නිවෙසියෙක් ලෙසින් හැඳින්වීම අතිශය සාධාරණය.
නිවෙසක් යනු ළෙංගතුම කිහිපදෙනා එකට හමුවන ආදරණීය ස්ථානයයි. දේශ දේශයන්හි ඇවිද්දත්, දහසක් සමගින් රැදුණත්, නිවෙසට ගොඩවදින මොහොත එන තෙක් බොහෝ දෙනා මග බලන්නේ ඒ උණුසුම් ළෙංගතුකම නිසාය. ඉඳින් එවන් පියසක් තැනීමේදී ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වීම ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් ඔබට කළ හැකි උසස්ම සත්කාරය විය හැකිය. මක් නිසාද මෙසේ තැනෙන නිවෙසක රැකවරණය, සුව පහසුව සහ ආදරය උපරිමයෙන්ම කැටි වී ඇති නිසාවෙනි.
කෘත්රීමත්වයට වඩා සෑම අතින්ම හිතකර මෙවන් උපක්රමයන් භාවිතයෙන් ඔබේ නිවෙස පසන් නිවෙසක් කර ගන්නට හැකි නම් ඔබ සැබෑ බුද්ධිමත් නිවැසියෙක් ලෙසින් හැඳින්වීම අතිශය සාධාරණය.
This article is on architecture for a tropical climate