
සිය ජීවිතයේ උතුම්ම දිනක් සඳහා වන ආගමික සූදානම
කපුරු සුවඳ පිච්ච සුවඳ හා එක්වූ විට දැනෙන්නේ සිත් පහන් කරවන පූජනීය සුවඳවත් බවක්...
නාදස්වරම් හඬට තවිල් බෙරයේ තාලය ගැළපුණු විට නැගෙන්නේ භක්තිමත් සංගීත නාදයක්...
සීරුවට මෙහෙන්දි සිත්තම් කෙරූ සුමුදු දෑතක රළු පිරිමි දැතක් පැටලූණු විට ඇත්තේ චමත්කාරජනක ලස්සනක්...
සටහන: දිල්ෂි තත්සරණී අබේරාජ ඡායාරූප: රුක්ෂාන් පීරිස් සහ සී.බී. සතිශ්
ලොව ජීවය බිහි වූ දා සිට අද වනතුරුත්, නොදන්නා අනාගතය දක්වාමත් ජීවිතයක ශේෂ වන එක් සුන්දර බන්ධනයක් වන්නේ කාන්තාවක හා පිරිමියකු ආදරයෙන් බැඳීම බව පැහැදිළිය. පසුකාලීනව යම් යම් වෙනස්කම් වලට බදුන් වුවද මෙහි කැටිකොට ගත් සාරය වන්නේ එකම සංකල්පයකි. එනම්, ජීවිතය ආදරයෙන් තවකෙකු හා බෙදා ගැනීමය.
මෙම පරාර්ථකාමී, අතිශය ආදරණීය බන්ධනය ලොවට පෙනෙන්නට ආඩම්බරයෙන් සැමරීම අතීතයේ පටන් සිදු වන්නකි. නෑදෑ පිරිවෙර් ආදරණීය ආශිර්වාදය මැද ස්වකීය ආත්මයම පිරිමියකු ඉදිරියේ තබනා සෑම ගැහැණු සිතකටමත්, සනුහෙර් ආඩම්බරය කරපින්නා ගෙන සුන්දර මනාලියක් තමන්ගේ ආත්මයට වැද්දගන්නා සෑම පිරිමි සිතකටමත්, ඒ අතිවිශේෂ මොහොත අමතක කළ නොහැකි තරම්ය. මේ මොහොත සෑම සංස්කෘතියකටම, ආගමකටම, ජාතියකටම පොදු වන්නේ විවාහය යනු සීමා මායිම් සියල්ල ඉක්මවා යන මානුෂීය බැඳීමක් නිසාවෙනි. මෙය එකම ආදරණීය හැගීමක් වුවත් සංස්කෘතියෙන් සංස්කෘතියට එය චමත්කාරජනක වෙනස්කම් මවන්නේ ලොව ඇති විසිතුරු බවට සාක්ෂි සපයමිනි. එවන් විචිත්‍රවත් වෙනසක සුලමුල සොයා හින්දු විවාහයක සැගවුණු පුංචි සුන්දර තැන් පිරික්සුමටයි මේ සූදානම.
වර්ණවත් සංස්කෘතියක පූජනීය බන්ධනය
ආදරයට ආගම්, ජාති බේද නැතත් ආදරයෙන් බැදුණු සිත් දෙකක් විවාහයකින් එක් කරන විට ආගම සංස්කෘතිය මුල් තැන ගන්නේ විවාහයක් යනු පවුලක, පරම්පරාවක අතිශය වැදගත් අංගයක් නිසාවෙනි. ජීවිතයේ දුකට සතුටට සෑම විටම ආගම සම්බන්ධ කරගන්නා හින්දු භක්තිකයින් විවාහය යන සංකල්පයට ආගම ඔස්සේ පාරිශුද්ධ බවක් එක් කරන්නේ ඉතා සුන්දර ආකාරයෙනි. විවාහය සඳහා මනාලිය හා මනාලයා නැවත ඉපදෙනවා යැයි කීම සාධාරණය. ඔවුන් සිය විවාහ මංගල්‍යයට සූදානම් වන්නේ ඉතාමත් භක්තිමත් සිතකින් යුතුවය. මස් මාංශ අනුභවයෙන් වැළකී, සියලූ දේ ශුභ මුහුරඣතයට සිදුකරමින් විවාහය යන පිරිසිදු බන්ධනයට ඇතුළු වීමට ඔවුන් සූදානම් වන්නේ එයට විශාල වැදගත් කමක් ලබා දෙමිනි. පුංචි පුංචි සුන්දර දේවල් රාශියක් කැටි කරගත් ඉතාම චමත්කාරජනක වර්ණවත් විවාහ මංගල්‍යයක කොටස්කරුවන් වීමේ අභිමන ඔවුන් නිරහංකාරව භුක්ති විඳින්නේ එනිසාය.
ආදරයෙන් ගැළපුණු සිත් මුතු පොටකට ඇමිණීම
ආදරයෙන් ගැළපුණු සිත් පොරොන්දම් හරහා ගැළපීමටද හින්දු භක්තිකයන් උනන්දුවක් දක්වන්නේ වසර ගණනක් එකට ජීවත් වන්නට පෙරුම් පුරනා හිත් වලට තවත් ශක්තියක් එක් කිරීමටය. දස පොරොන්දම් හා දෙහිත් ගැළපුණු පසු ඒ ආදරණීය අවස්ථාවට අදාළ සියලූ කටයුතු සංවිධානය වීම ඇරඹේ. හින්දු විවාහයකදී සාම්ප්‍රදායිකව දායාදද මුල් තැනක් ගනී. සිය රුවෙන් හා ගූණයෙන් යුත් දියණිය ජීවිතයේ ඉතිරි කාලය තුළදී රැකබලා ගැන්මට ශක්තිමත් පිරිමි සෙවණැල්ලක සෙවණට පියා විසින් යවන්නේ හිස් අතින් නම් නොවේය. බොහෝ විට මෙවන් කරුණු විවාහ මංගල්‍යය සිදුකිරීමට පෙර පවුලේ ඥාතීන් එක්වී සාකච්ඡා කරනු ලැබේ. පොරොන්දම් ගළපා, දායාද තීන්දු කර ඉදිරි විශේෂ අවස්ථා සියල්ලට අවශ්‍ය නැකැත් ඔවුන් සකස් කරවා ගන්නේ ඒවාටම සුවිශේෂී වන දෛවඥයින්ගේ උපකාරයෙනි.
මෙහිදී විවාහ මංගල්‍යයට පෙර පවතින ඉතා වැදගත් උත්සවයක් වන්නේ තාලි සෑදීමේ උත්සවයයි (පොන්නුරුක්කාල්). මනාලයා විසින් සිය මනාලියගේ ගෙලේ පලඳින තැල්ල සාදන්නේ සුබ නැකැත් බලා ආගමානුකූලව පිරිසිදු වීමෙනි. මෙය සැබැවින්ම අපූරුය. සිය මනාලිය වෙනුවෙන් නෑදෑ පිරිස ඉදිරියේ ලබා දෙන මුල්ම මතක සටහන මෙතරම් භක්තියෙන් හා පරිස්සමට තැනීමම ඒ පිරිමි ආත්මය මොනතරම් නම් උසස් කොට තබනවාද. නා පිරිසිදු වී ආගම සිහිකර නෑදෑයින් පිරිවරා ඔහු සිය මනාලියගේ තැල්ල සාදන්නේ දහසකුත් එකක් සුන්දර හීන හිතේ එක්රැස් වෙද්දීය.
නොඉවසිල්ලෙන් බලා සිටි විවාහ මංගල්‍යය සිදු කෙරෙන්නේ මනාලියගේ නිවසේදීය. අද මෙම සංකල්පය මඳින් මඳ වෙනස් වී උත්සව ශාලාවන්ට පැමිණ තිබුණද සාම්ප්‍රදායක් ලෙසින් එය මනාලියගේ නිවසේදී පැවැත්විය යුතුය. දෙමාපියන් සහ නෑදෑයින් සමග මනාලියගේ පස පිරිමි සහෝදරයකු හා පැමිණෙන මනාලයාව, මනාලියගේ දෙමාපියන් විසින් ආශිර්වාද කරමින් පිළිගනී. පූජකවරයකු විසින් ඔහුව රක්ෂා බන්ධනයෙන් සුරක්ෂිත කරනු ලැබේ. සිය ජීවිතයේදී සිදුකරන්නට සැරසෙන යහපත්ම සහ වැදගත්ම කර්තෘව්‍යයකට ඔහුව සූදානම් කරන්නේ එලෙසිනි.
මනාලයා විසින් ලබා දුන් විශේෂ සාරියෙන් සැරසුණු මනාලිය කලඑළි බසින්නේ මින් පසුවය. කූරෙයි පට්ටු යන විශේෂ නාමයෙන් හැඳින්වෙන මෙම සාරිය හින්දු කාන්තාවන් විවාහ දිනයට පමණක් සැරසෙන සාරියකි. ඉතා මිල අධික වන මෙය මනාලයා විසින් මනාලියට තෑගි කරන්නේ එහි කැටි වුණු ආදරයත් සමගිනි. පිච්ච හා රෝස ආදී සුවඳවත් මල් හිස ගසා, දැත් මෙහෙන්දි වලින් හැඩ දමා, වර්ණවත් අලංකාර සාරියක දැවටී සබයට එන හින්දු මනාලිය සැබැවින්ම ශ්‍රියා කාන්තාවකි. දෙමාපියන් සිය ආදරණීය දියණිය හා ජීවිතය බෙදාගන්නට තීරණය කර ඇති ඔහුට ඇයව පූජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ භාර දෙන්නේ ඉතා අභිමානයෙන් යුතුවය.
මේ සංවේදී අවස්ථාවෙන් පසුව මනාලයා විසින් ඇයව තමන් වෙතට භාර ගන්නා බවට ශපථ කරමින් ඇයගේ ගෙලෙහි තැල්ල බඳිනු ලබයි. මෙය තුන් වරක් ගැට ගසන අතර පළමු වර මනාලයා විසින් හා දෙවන හා තුන් වන වර මනාලයාගේ සොහොයුරියක විසින් මෙය ගැට ගසනු ලබයි. මෙහිද ඇත්තේ අපූරු අර්ථයකි. මෙහි පළමුවන ගැටය මගින් මනාලිය, මනලයාට අයත් බවත් දෙවන ගැටයෙන් ඇයව මනාලයාගේ පවුලට අයත් බවත් හා තුන් වන ගැටයෙන් ඇයව දෙවියන්ට අයත් බවත් දැක්වේ. සුකුමාල කාන්තාව සිය දෙමාපියන්ගෙන් ඈත් වුණිද ඇය සුරක්ෂිත බව මෙයින් තහවුරු කෙෙර්. ඔවුනොවුන් විසින් පැලඳගෙන සිටිනා මල්මාලා මාරු කරගැනීම මීළගට සිදු වේ. මෙහිදී තෙවරක් ඔවුනොවුන් මල් මාලා මාරු කරගන්නා අතර ඒ හරහා එකිනෙකාගේ උණුසුම හා හද ගැස්ම අනෙකාට දැනෙන්නට සැලැස්වේ. කැපවීමෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් නිරාහාරව සිටි කාලය අවසන් කරමින් යුවළ වෙත කිරි හා කෙසෙල් පිරිනැමෙන්නේ විවාහ මංගල්‍යයේම එක් චාරිත්‍රයක් ලෙසිනි. දෑත් පටලවා ආදරයෙන් ජීවන ගමන යෑමට පොරොන්දු වීමේ ඊළග පියවර වන්නේ සත් පියවරක් ගිණි මැලයක් වටා දෙදෙනා එක්ව ඇවිදීමය. මෙසේ සිය සැමියා පිටුපස පියවර මනිනා බිරිඳ ඒ සත් පියවරයන් ඔස්සේ ඔහුට ප්‍රතිඥා හතක් ලබා දේ. මා පිය නෑදෑයින්ගේ ආශිර්වාද මැද මෙසේ ජීවන ගමන සංකේතවත් කෙරූ එම චාරිත්‍රයෙන් පසුව මනාල යුවළට ඔවුන්ගේ මුදු දැමූ කහ වතුර භාජනයක් ලබා දෙන්නේ දෙදෙනාට සිය මුදුව සොයා ගැන්මටය. මෙහිදී එක් අයෙකු මුදු දෙකම හසුකර ගත්තේ නම් ඔහු හෝ ඇය ඒවා අනෙකා සමග බෙදා ගත යුතුය. මෙසේ වාර දෙකක් ඔවුන් මෙම චාරිත්‍රය සිදු කරනු ලබයි. පසුව මනාලයා විසින් මනාලියගේ පා ඇගිල්ලකට මුදුවක් දමනු ලබන්නේ ඇගේ පය මිරිස් ගලක් මත තිබියදීය. මේ මගින් ඇය, සිතින් සෘජුව ඔහු වෙත ආදරය දක්වාවි යන ආකල්පය තහවුරු වේ.
අවසානයේ නෑදෑ හිතමිතුරන් විසින් කහ සහ සහල් වලින් ඔවුන්ට ආශිර්වාදය පළ කර සිටී. කහ මගින් පාරිශුද්ධත්වයත්, ධනයත්, සහල් මගින් ස්වයංපෝෂිත බවත් පෙන්නුම් කෙෙර්. සැබැවින්ම විවාපත් වූ යුවළකට තිබිය යුත්තේද ඒවාමය. මේ සියලූ කුඩා දෙයෙහි ඇත්තේ අතිවිශාල අර්ථයක් වීම හින්දු සංස්කෘතියේ වන අපූර්වත්වයයි. සෑම සංස්කෘතියකටම පොදු වූ මෙම අපූර්වත්වය හින්දු සංස්කෘතිය තුළ වඩාත් විචිත්‍රවත්ව දැකිය හැකිය.
හින්දු විවාහ මංගල්‍යයෙන් කෙරෙන්නේ ආදරය මුසු වූ පූජනීය බන්ධනයකට ඔවුන්ව සූදානම් කරවීමය. තමන්ගේම කරගෙන රැකගැනීමට සහ ආදරයෙන් ඇප උපස්ථාන කරමින් ජීවිතයේ ඕනෑම අභියෝගයකදී ළග සිටීම පොරොන්දු වීමේ අවස්ථාව ලබා දීමය. විවාහයක් යනු බන්ධනයකි. අනෙක් බන්ධන වලින් එය වෙනස් වන්නේ එය සොදුරු බන්ධනයක් ලෙසින් දැක්විය හැකි නිසාවෙනි. ආගමික පූජාවක් ආකාරයෙන් ඉතාමත් භක්තියෙන් යුතුව සිදුකෙරෙනා හින්දු විවාහ මංගල්‍යය සැබැවින්ම ඔවුන්ට දේව කාරියක් සේම පින්සාරය.
මෙම ලිපිය සැකසෙන්නේ බම්බලපිටිය පුරාණ කදිෙර්ස්වරම් කෝවිලෙහි පූජකතුමකුගෙන් ලබා ගත් තොරතුරු ඇසුරෙනි.
කැපවීමෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් නිරාහාරව සිටි කාලය අවසන් කරමින් යුවළ වෙත කිරි හා කෙසෙල් පිරිනැමෙන්නේ විවාහ මංගල්‍යයේම එක් චාරිත්‍රයක් ලෙසිනි